සූනියම් දේව අවතාරය

"හීන් කොලු⁣වෝ...දැංවත් ඔය කයිය නවත්තලා ගෙට වරෙං...මේ ගොම්මං වෙලාවෙවත් එක තැනකට වෙලා ඉන්ඩ බැරි හැටියක්..."

        ඒ මගේ අත්තම්මාය.ඇඳිරි වැටීගෙන එන වෙලාවෙදි මා නිවෙසින් පිටව සිටීම ඇයට පෙනෙන්නේ මා මකර කටට යන්නා සේය. මම ඇයගේ එකම මුණුපුරා වෙමි.මගේ ත් තනි නොතනියට සිටින්නේ ඇය පමණි.මව පිටරට ගෘහ සේවයටත්,පියා කොළඹ නගරයේ ආයතනයක මුර සේවයටත් ගිය පසු මගේ බඩගින්නට රොටී ගෙඩියක්,බත් ඩිංගක් උයා කවා මාව සැනසුවේ මගේ අත්තම්මා ය.
   
      පුංචි කාලයේ පටන් අවු: 12ක් වන තෙක්ම අප වෙසෙන ගම පිළිබඳ රසවත් කතා කියූ ඇයගේ ⁣හා අනෙක් ගම් වැසියන්ගේත් එදිනෙදා කතාබහේ තිබුණු දැඩි විශ්වාසයක් වූයේ "සූනියම් දෙවියන්ගේ වික්‍රමයන්" ය. "ඇත්තටම කවුද මේ සූනියම් දෙයියො?" මටනම් මෙසේ සිතුනු වාර අනන්තයි,අප්‍රමානයි.

     අත්තම්මගෙ රසවත් කතා අනුව කඳුවැටිවලින් වටවූ අපේ බුලනවැව ගම්මානය වී වගාවෙන්,භවබෝග සම්පත්,වැව් අමුණු වලින් සශ්‍රික වූ සුන්දර ගම්මානයකි.ඒත් මටනම් සිතෙන්නේ මේ ගමේ මිනිස්සු වීඇටයක් පැළ කරගන්න අව්වත් එක්ක පොරබඳින එක මොනතරම් කරැමයක්ද? කියායි.කොහොම නමුත් මේ ගමේ මිනිස්සු දැඩි භක්තියකින්,ගෞරවයකින් අදහන පැරණිතම විශ්වාසයක් වුණේ ගමට අරක් ගත් සූනියම් දෙවියන් ය.

" ඔය හූනියම් දෙයියන්නාන්සෙ වැඩහිටිනවයි කියන්නෙ...අපේ කුඹුරැ ඉහත්තාවෙ තියෙන විසාල ගල මුදුනෙයි කියනවනෙ කොලුවො.ඒ ගැන හිතල තමා...අපි අර සියඹලා ගහ ළඟට පුදපූජා කොරන්නෙ."
දවසක් අත්තම්මා කීවා මට හොඳින් මතකයි.

"ඉතිං අත්තම්මේ..ඔය කියන දෙයියන්නාන්⁣සෙ ඇයි පේන්න ඉන්නෙ නැත්තෙ.ඒ ගල පැත්තෙ තියෙන කැලෑ රොදට අපි කොයිතරං නං රිංගලා ඇත්ද? ඒත් අපෙ උං එකෙක්ටවත් ඔය කියන දෙයියෙක්නං පෙනිලා නැ....මල විකාර..හහ් හහ් හා...."
මම කියූ සැණින් අත්තම්මා කෝප වූයේ දුම්මල වරම අතට ගත් සූනියම් යක්ෂණිය මෙනි.

    එදා පටන් සූනියම් දෙවියන් ගැන අත්තම්මා සමඟ වාද කිරීමට මා උනන්දුවක් නොදැක්වුවද සූනියම් දෙවියන් කවුදැයි දැකබලාගැනීමේ කුකුසක් නම් හිතේ පැලපදියම් වී තිබුණි.

   අත්තම්මා රොටී පුච්චන සුවඳත් සමඟ මිශ්‍ර වී පෙර මතකය අවදි වෙද්දී කඩුල්ල දෙසින් හුළු අතු කීපයක් වැනෙනවා මම දුටුවෙමි.

"අත්තම්මේ...අත්තම්මේ...කවුද මංදා තකහනියක් මේ පැත්තට එනව පේනවා.."
හිඳ සිටි බංකුවෙන් නැගිටිමින් මම කීවෙමි.එ කියූ සැණින් අත්තම්මා ද, පිලකඩ ට පැමිණ බලාසිටියේ කුමකින් කුමක් සිදුවන්නට යන්නේදැයි විමසිල්ලෙනි.

   ඈතින් දුටු හුළු අතු කීපය කඩුල්ල දෙසට පැමිණි විගස මටත් කලියෙන් අත්තම්මා ඔවුන්ව හඳුනාගන්නට සමත්වීම පුදුමයකි.

" හප්පේ...මේ පුංචිබණ්ඩා කොලුවනෙ.මොකෑ ⁣බොල මේ හති දමන්නේ..මොකක් හරි වින්නැහියක්ද?"
මමත් ඒ දෙස කට අයා බලා සිටියේ පුංචිබණ්ඩා අයියා හති දමන වේගයත්,නළල ⁣දෙපසින් දහඩිය ගලා යන ආකාරයත් දෙස විමසිලිමත් වෙමිනි.

"අන්න,අදත් වැඩක් වෙලා" පුංචිබණ්ඩා අයියා ගොතගසන්නට විය."

"ඇයි බං මොකක්ද වෙලා තියෙන්නෙ.." අත්තම්මා වෙවුලන හඬින් පවසද්දි මම තවත් වික්ෂිප්ත වීමි.

"ආං සුවාරිස් මලයටත් හූනියං දෙයියො වැහිලලු."

"මොකක් කිවුවා...! කොහොමද බොල එහෙම වුනේ? කවුද උඹට කිව්වෙ?" අත්තම්මා විශාල කරගත් දෑසින් යුතුව අසද්දි මම තව තවත් වික්ෂිප්ත වුනෙමි.

"කවුරැත් කිව්වා නෙවෙයි අත්තම්මෙ.මං හැන්දෑ ජාමෙ වතුර ටික හරවන්න හිතන් කුඹුරට යද්දි මූ අර කදුරැ ගහ යට වැටිලා ඇස් දෙක උඩ ඉන්දං කටත් අයාගෙන මොනවදෝ මතුරනව.ඒ විතරක්යැ ඒ සිද්ධියට මොහොතකට කලියෙන් අපෙ ටිකිරි නඟාට ඇහුණලු හුනියම් ගල මුදුනෙන් හූකියන සද්දෙකුත්.ඉතිං මං හිතාගත්තා එතැන වෙච්චි සංතෑසිය"

පුංචිබංඩා අයියා එක හුස්මට කියාගෙන ගියේ මමත්,අත්තම්මාත් පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි.මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි අත්තම්මා නළලේ අත ගසා,

"කිරි අප්පොච්චියේ...! එහෙනං ඔය ගල මුදුනෙ ඉන්නවයි කියන හුනියම් දෙයියන්නාන්සෙ මුසාවක් නෙවේ..අපේ එකාටත් කට කැඩෙනකං කියල ඇති මං ඔය කැලෑ රොදට රිංගන්ට එපා කියල, මේ ගමේ මිනිස්සු ඕව කියන්නෙ රැදාවකට හෙම නෙවේ..අපෙ අත්තා මුත්තා කාලෙ ඉඳංම ඔය හූනියං දෙයියො වැඩහිටියයි කියනවනෙ කොල්ලො"

    අත්තම්මා විටෙන් විට මා දෙසත් පුංචිබණ්ඩා දෙසත් බලමින් පවසන්නට විය.
   මේ කතාව අහවර වී ඔහු නිවෙසින් පිටත් වූ විගස රොටී කෑල්ලක් කා නිදාගැනීමට සිතා කොට්ටය මත හිස තැබුවද, විටෙන් විට මගේ සිතේ මැවෙන්නට වූයේ,
" සූනියම් දෙයියන් කවුද? මේ තරම් කාලයක් ගල අසලට ගිය අපට උන්නාන්සෙ නොපෙනුනේ මන්දැයි" යන ගැටළු රාශියකි.

   ඉන් මිදීමට නොහැකි වූ මම අවසානයේ එක තීරණයකට එළැඹුනෙමි.

" ඔව්. හෙට උදෙන්ම මම යනව ඔය කියන හුනියම් අවතාරෙ හොයාගෙන" මෙසේ සිතමින් මා නින්දට වැටුණි.

  කුරැල්ලන්ගේ කිචිබිචියත් සමඟ හිමිදිරි පාන්දර ම අවදි වූ මා නැවතත් සිතන්නට වූයේ,සූනියම් දෙවියන් සොයා යාමේ කුතුහලය පිරි ත්‍රාසජනක ගමන පිළිබඳවයි.කෙතරම් නිර්භීත වුවත් එහි තනියම යාම කළ නොහැක්කකි.ඒ නිසාම, මටම කැපෙන මගේ අතිජාත මිතුරන් වන සුගත්,මහින්ද හා තිලක් ද කැටුව යාමට සිතුවෙමි.
   මා මෙන්ම හිතුවක්කාර,ජඩ වැඩ කිරීමට උපන් හපන් මගේ මිතරන්ද මා සිතූ පරිදිම මේ ගමනට ක්ෂණික කැමැත්ත පළ කිරීමත් මගේ භාග්‍යයක් විය.

   හොඳින් හිරැ පායා තිබූ මෙදින සවස 2.00 ට පමණ අත්තම්මාගේ  ඇස වසා හීන් නූලෙන් නිවෙසින් පිට වූයේ මම,සුගත්,මහින්ද හා තිලක් සමඟ කුඹුර ඉහත්තාවේ පිහිටි ගල මුදුනට නැඟිමට යි.

"උඹට විශ්වාසද ? ඔය කියන හූනියම් දෙයියො අපිට දකින්න ලැබෙයි කියලා." ගල පාමුලට පැමිණිමටත් පෙර ම සුගත් විමසීය.

" අපේ තාත්තා කියන විදිහට නං හූනියං දෙයියො පේන්නෙ දේව ගණ පිහිටන අයට විතරලු." තිලක් එකවරම පැවසීය.

" හා..හා..යමංකො කට වහගෙන.අපි හතරදෙනාගෙන් එකෙකුට හරි ඔය හුනියම් අවතාරෙ නොපෙනී ඉන්න එකක් නැ.."  මම ඔවුන් සියල්ලටම පිළිතුරැ සැපයූවෙමි.

   සඟයින් හට නොපැවසුවද ,කොහේදෝ සිට පැමිණි බියක් මගේ හිතේ පැලපදියම් විය.කන් දෙදරවන රැහැයියන්ගේ හඬ මැදින් ගොම්මන්ගස් යායවල් පසු කරමින් ගල මුදුනට නඟින්නට වූ අපි කිසිම හාවක් හූවක් නැතිව ගලෙන් අඩක්ම නඟින්නට වුණෙමු.

" සුගත් මාව බේරගනියෝ...."

එකවරම පිටුපසින් ඇසුණු කෑ ගැසිල්ලෙන් අපි ඉක්මනින් පිටුපස බැලුවෙමු. ඉන් පසු දුටුඇස් අදහාගත නොහැකි දර්ශනයෙන් අප මඳකට ගල් ගැසුනාක් මෙනි.

"දෙයියනේ..තිලක්.මොකද උඹට වුනේ.."

තිලක් ගල අග්ගිස්සෙහි බිම වැටී කටින් සෙම දමමින් දඟලන්නට විය.

" කළුපාට ගුලියක්..ක..කළු..එනව..මං..මං ළඟට..එනවා..."

 තිලක් ගොත ගැසූ දෙයින් අප එකිනෙකා ගැහෙන්නට විය.මටනම් මතක් වූයේ අත්තම්මා රාත්‍රියේ හීනෙන් බය වූ විට මතුරන ඉතිපිසෝ ගාථාව පමණි.

 අප අතර සිටි එඩිතරම සඟයා මහින්ද ඉක්මනින් තිලක්ව තම කරට ගෙන පැමිණියාටත් වඩා වේගයෙන් කන්ද බසින්නට විය.ඔහු සතු වූ හැඩිදැඩි ශරීරයත් ඊටම උචිත විය.

  "තිලක්ට අපි මොකද කරන්නෙ.රංබරණා ගුරැන්නාන්සෙ ළඟට අරන් යමු නේද"  එකවරම සුගත් පැවසු දෙයින් මගේ ඉහමොල රත් විය. " මා දැන් අත්තම්මාට කියන්නේ කුමක්දැ"යි සිතන විට පවා මගේ හදවත සිරවෙනවා මෙන් දැනුණි.ඒත් කුමක් කරන්නද? තිලක් ව බේරාගත යුතුය.

"ඔව්.අපි රංබරණා ගුරැන්නාන්සෙ ළඟට යමු."
මම පවසද්දි මහින්ද පෙරලා පැවසූවේ වෙනස්ම දෙයකි.

" මේ ලෙඩේට ඔය ගුරැකම් කරල හරියන්නෙ නෑ..උඹලත් විශ්වාස කරනවද මේක හූනියම් දෙයියගෙ වැඩක් කියලා. මල විකාර"

 මෙසේ වීමට හේතුව හූනියම් දෙවියන් නොවේනම් වෙන කුමක්දැයි මට සිතෙන්නට විය.මුලදි නම් මේ පුරාවෘත්තය විශ්වාස නොකළ නමුත් දැන් නම් එය විශ්වාස කිරිමට සිදුව තිබේ.

" හරි.උඹලගෙ කැමැත්ත ඒකනං අපි රංබරණා ගුරැන්නාන්සෙ හොයන් යමු." මහින්ද කිසිම ගණනකට නොගෙන පැවසුවේ ඔහු වෙනත් ගමක නිසා විය හැකිය.

 තිලක්වත් කර මත තබාගෙන ගරැන්නාන්සේගේ නිවස දෙසට පියනඟන අප දෙස ඔහු විමසිලිමත් දෑසින් බලා සිටිනවා දුටුවෙමු.රතු කරගත් මුහුණු වලින් යුතුව අප තිදෙනා ගෙතුළට පිවිස තිලක් ව පැදුරැකඩ මත හෙළනවාත් සමඟ ගුරැන්නාන්සේ ඉක්මනින් පැමිණ තිලක් ව පරීක්ෂා කරන්නට විය.

" ආ...හූනියම් දෙයියන්ගෙ වැඩක්." ගත් කටටම ඔහු පැවසීය.

"මේකට හූනියම් අවතාරෙ වැහිල ඉන්නෙ.විගහට තොවිලයක් කරන්න වෙනව."

ගුරැන්නාන්සේ කියවාගෙන යද්දි මහින්ද ගත් කටටම පැවසූයේ,
" මොන හුනියම් අවතාරයක්ද මාමෙ,තිලක්ට ෆිට් එක හැදිල වගේ..ඉක්මනට ඉස්පිරිතාලෙට අරං යන්න වෙයි."

  මහින්ද කියු දෙයින් ගුරැන්නාන්සේ ට යක්ෂයා ආරෑඪ වූවා සේ මහින්ද ට බැන වදින්නට විය.

" මොකක්ද කොළුවො උඹ කිව්වෙ? පිටගංකාරයෙක් අපේ ගමට ඇවිත් මට උගන්නන්ඩ හදනවද? මේ බුලනවැව ගම්මානයේම අද ඊයෙ ඉඳං අදහන දෙයක් නෙවෙ බොල මේ හුනියම් දෙවියන් කියන්නේ.ඒක තේරැම් ගනිල්ලා."

  ගුරැන්නාන්සේගේ වචන නිසා කෝප වූ මහින්දත් ඔහු සමඟ තර්ක කරන්නට විය.

" ඔබතුමා දැකලා තියෙනවද ඔය හූනියම් අවතාරෙ"

"මං දැකලා නෑ බොල.ඒ වුනාට මං ඒ දෙයියන්ව අදහනව.මං විතරක් නෙවේ මෙ ගම් තුලානෙ හැම මිනිහෙක්ම එතුමන්ට පුදපූජා කොරනව.උන්නාන්සෙට අපෙන් මොකක් හරි වැරැද්දක් වුනාමයි මෙහෙම දේවල් වෙන්නෙ.

ගුරැන්නාන්සේ දිගටම කියවන්නට විය.මම සහ සුගත් හොර බළලුන් සේ සිටියෙමු.එකවරම මහින්ද තිලක් දෙසට නැවී ඔහුව කරට ගෙන අප වෙත හැරැනි.

" ඔය විකාර අවතාරයක් වැහිලා නෙවේ මේ.මං මේකව ඉස්පිරිතාලෙට අරං යනව.උඹලත් එනවනං වරෙල්ලා." කියමින් ඉක්මන් ගමනින් පාර දෙසට පියනඟන්නට විය.

  තවත් මොහොතක්වත් ගුරැන්නාන්සෙගෙ මුහුණ දෙස බලා සිටිය නොහැකි නිසා අප දෙදෙනාද මහින්ද පිටුපසින් ගමන් කරන්නට සිතුවෙමු.

" මේ කොල්ලො කුරැට්ටන්ගේ මොළගෙඩි වල තියෙන මෝඩ අදහස් නැතිකොරන්ට අපිට බැ...
උඹලට සූනියම් දෙයියන්නාන්සේගෙම පිහිටයි."ගුරැන්නාන්සේ අප වෙත හැරී උපහාසයෙන් මෙන් පවසනවා ඇසුණි.එය ගණනකට නොගෙන අප තකහනියක්ම ග්‍රාමීය රෝහල වෙත පියනඟන්නට වුනෙමු.




H.R.H.N ABEYSINGHA
HS/2016/0015
 

Comments

Post a Comment