• කොරෝනා නිසා ගොඩ ගිය අය

         මෙම ලිපිය ලියන අවස්ථාව වන විට නව කොරෝනා වෛරසය ලෝක ජනගහනයෙන් ලක්ෂ 35 කට වැඩි පිරිසකගේ ශරීර ගතවී, එයින් ලක්ෂ 2.5 කට පමණ මරු කැඳවා අවසන්ය. සක්‍රීය රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවක් පෙන්වන අතර වසංගතය හේතුවෙන් බොහෝ රටවල ව්‍යාපාර සහ ආර්ථිකයන් අකර්මණ්‍ය වී ඇත. අමෙරිකා එක්සත් ජනපදය රෝගීන් සංඛ්‍යාව අතින් අංක එකේ පසුවන අතර ඒ සමඟම හොලිවුඩ් සිනමාව ද අති දුෂ්කර කාලසීමාවක් පසු කරමින් සිටියි.
කොරෝනා වසංගතය හේතුවෙන් බරපතල ලෙස බලපෑමට ලක්වූ චිත්‍රපට ගැන පසුගිය සතිවල අපි සාකච්ඡා කළෙමු. ඕනෑම අඳුරු වළාකුලක රිදී රේඛාවක් ඇති බව අපි අසා ඇත. අද කතාවෙන් එය තහවුරු කළ නොහැක. වසංගතය හේතුවෙන් සාම්ප්‍රදායික සිනමාව ඇද වැටෙද්දී එයට සම්බන්ධ තවත් ව්‍යාපාර සමූහයක් වේගයෙන් ලාභ උපයමින් සිටින අයුරු දැකගත හැකිවේ. අන්තර්ජාල වීඩියෝ වාහක (Online video streaming) සේවාවන් මෙහි ඉදිරියෙන්ම සිටී. ලොව පුරා විශාල ජනගහනයක් සිය නිවෙස් තුළම රැඳී සිටීම නිසා අන්තර්ජාල පරිභෝජනය 70% කින් වර්ධනය වී ඇති අතර ඒ අනුව අන්තර්ජාල වීඩියෝ වාහක සේවා පරිභෝජනය 12% කින් වර්ධනය වී තිබේ.
ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල වීඩියෝ වාහක සේවාවක් වන නෙට්ෆ්ලික්ස් (Netflix)2020 වසරේ පළමු කාර්තුවේදී ග්‍රාහකයින් මිලියන 7.2ක වැඩිවීමක් බලාපොරොත්තු වී තිබුණද මෙය මිලියන 15.8 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව දැනට නෙට්ෆ්ලික්ස් සමාගමේ ලොවපුරා මුළු ග්‍රාහක සංඛ්‍යාව මිලියන 183ක් ලෙස වාර්තා වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විචාරකයින් පවසන ආකාරයට "නෙට්ෆ්ලික්ස්" යනු නිවෙස් තුළ රැඳී සිටීමට බල කෙරෙන මෙවැනි වසංගත තත්ත්වයකට හොඳින්ම ගැළපෙන ව්‍යාපාරකයකි. නෙට්ෆ්ලික්ස් සිය රූපවාහිනී නාට්‍ය මාලාවන් සතියෙන් සතිය නොව එක්වර සම්පූර්ණයෙන් ඉදිරිපත් කිරීම මෙයට තවත් හේතුවක් බව ඔවුන් පෙන්වා දේ. Tiger King: Murder, Mayhem, and Madness, Unorthodox, Killer Inside: The Mind of Aaron Hernandez,The Stranger, Love Is Blind වැනි නිර්මාණ මේ දිනවල නෙට්ෆ්ලික්ස්හි ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත.
වෝල්ට් ඩිස්නි සමාගමට අයත් තවත් මෙවැනි සේවාවක් වන ඩිස්නි ප්ලස්
(Disney+) ද වසංගත තත්වය නිසා වාසි අත්කරගත් තවත් ආයතනයකි. ඩිස්නි ප්ලස් හි ලොව පුරා ග්‍රාහක සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇති බව සඳහන් වේ. Boy Meets World, Marvel Runaways, Darkwing Duck, Gravity Falls, Star Wars: The Clone Wars ඩිස්නි ප්ලස්හි ප්‍රේක්ෂක ආකර්ෂණය ලද වැඩසටහන් අතර වේ. කෙසේ වෙතත්, ප්‍රධාන චිත්‍රපට කර්මාන්ත ආයතනයක් වන ඩිස්නි සමාගමට වසංගතය හේතුවෙන් සිය සෙසු ව්‍යාපාර වලින් අලාභ සිදු වී ඇති බවත් සඳහන් කළ යුතු වේ.
ඇමේසන් ප්‍රයිම් සහ හුලු මේ තත්ත්වය හමුවේ වාසි විඳින තවත් සමාගම් දෙකකි. 2020 පළමු කාර්තුවේ හුලු ග්‍රාහක සංඛ්‍යාව මිලියන 30 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මේ අතර වීඩියෝ වාහක සේවාවන් බරපතල ලෙස අන්තර්ජාල දත්ත හුවමාරු කරන බැවින් අමෙරිකාවේ සහ යුරෝපයේ අන්තර්ජාල සේවා සපයන්නන් අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ. මෙය අවම කිරීමට වීඩියෝ ග්‍රාහක සේවා ගණනාවක් සිය වීඩියෝ HD තත්ත්වයෙන් නොව SD තත්ත්වයෙන් මුදාහැරීමට එකඟ වී ඇති බව ද වාර්තා වේ.

Comments