සාර්දියෙස් ගුරැතුමා......
මාර ගස් ගොන්න අස්සෙන් පෙරිල ආවත් අව්වෙ සැර නම් අඩුවක් නෑ. සොහොන් පිට්ටනිය පුරාම එකම හිස් ගොඩක්. නගරයේ ඔක්කොම මෙතන. මැති ඇමතිවරැ, උසස් නිලධාරීන්, ගුරැවරැ, හොඳට කලිසම් සූට් ඇඳගත් අය, සරම් කමිස ඇඳගත් අය, ඉස්කෝලේ ළමයි, එකම තරාතිරමේ අය. පාර දිගටම එක එක ජාතියේ වාහන නවත්තලා. වැඩියෙන්ම කාර්. බැලූ බැලූ අත සෙනඟ. සොහොන් පිටියක් තියෙනවද කියලවත් හොයාගන්න බෑ.
අහස ටිකෙන් ටික අඳුරැ වෙනවා.ඉර මාර ගස් අතරින් නලියනව පේනවා. බම්බා කන්ද මුදුනේ තවම එළිය වැටිලා. ආපු සෙනඟත් තොග පිටින්. පහල පිටියෙ ඉඳලා වාරැ ඇරගෙන මහ පාරට නඟිනවා. නවත්තලා තිබුනු වාහන එකින් එක අඩුවෙලා දෙපැත්තට වේගෙන් යනවා. මෙච්චර වෙලා නිදාගෙන හිටිය සොහොන් කොත් එක එක නැගිටිනවා වාගෙ පෙනෙනවා. " ඇති යංතං " කියල වගේ බලු නගුටු ගස් , හුලංතලා ගස් බිමට හෙම්බත් වෙලා නැගිටින්න හදනවා. තවම වල ළඟ හත්අට දෙනෙක් ඉන්නවා. මම සෙමෙන් වටපිට බැලීමි. දහයක් දොළහක් වටකරගෙන ඉන්න අමුත්තා මම දුටිමි. අඩි හයක් විතර උස , සුදු කෙස් අතර කළු කෙස් ද ඇති හොඳට තෙල් ගා මනාව පිටුපසට පීරා තිබෙන කොන්ඩය, රන්වන් පාට මුහුණ දහඩියට දිලිසෙනවා. රත්තරං පාට රාමුව තියෙන කණ්නාඩි කුට්ටම, රවුම් බර සුදුපාට කලිසම් රෙද්දකින් මහල තියෙන කමිසය, එයටම ගැළපෙන හොඳට මැදලා ඇඳගත්තු කලිසම, සපත්තු දෙක දැම්මම හරිම තේජවන්තයි. ඔහු අත දිගඇර මොනවද පෙන්වමින් සිනාවෙමින් නගරයේ පැරණි අය සමඟ සංවාදයක යෙදී සිටියි.
" තව පොඩ්ඩක් මැදට ගනිල්ලා....හා..හරි..දැන් හොඳයි..." විමලසේන මාමාගේ කටහඬ
අනිච්චාවත සංඛාරා !
පරලෝ සැපත් පී. සාර්දියෙස් ගුරැතුමාට
නිවන් සැප ලැබේවා
" එහෙනං මම යන්නං " ඉතිරිවෙලා හිටිය හතර පස් දෙනාට අත් එකතු කරලා අමුත්තා ආචාර කරන ගමන් විමලසේන මාමාට ඔලුව වනලා ළඟට කතා කළා.සාක්කුවෙන් යමක් එළියට ඇරන් විමලසේන මාමාගේ අතින් තිබ්බා. විමලසේන මාමාත් කිසි කතාවක් නැතුව එය අරගෙන සොහොන ළගට ගියා. අමුත්තා අපි දිහාත් කට කොනකින් හිනාවෙලා දණහිසට බර දීලා කඳු ගැට්ට නැඟලා එයාගෙ විශාල වාහනේ නැගලා ඉස්කෝලෙ පැත්තට ගියා.
" ළමයි උඹලත් මේ උදලු දෙක අරං ඉස්කෝලෙ පැත්තට පලයල්ලා. අපි තව ටිකකින් එන්නම් " එහෙම කියපු විමලසේන මාමා " යමල්ලා යමල්ලා අර වැඩෙත් ඉවර කරගන්න " කියලා කට්ටිය එක්ක සොහොන් පිටියේ මුල්ලකට ඇදෙනවා මම දුටුවෙමි. ඒ අඳුරැ වදුල්ලේ ඔවුන් එනතුරැ බලාසිටි මේස් බැනියමක් හා සරමක් විතරක් ඇඳගත්ත කෙනාද ඉක්මනින් නැගිටිනවා මම අඳුර තුළින් දුටුවෙමි.
" එයාලා අද එන්නෙ හතර ගාතෙන්. අපි යමු " යි කියා එක් උදැල්ලක් ගෙන විජිතපාලට දී අනෙකේ බන්ද ගල්ගෙඩියක ගැසුවෙමි.අඳුර වැටෙන්න ඔන්න මෙන්න. බම්බා කන්ද නිදාගෙන ඉන්න කලු රාක්ෂයෙකු වාගෙයි.දෙනෝ දාහක කර පිටින් නගරය මැදින් අවසන් ගමන් ආව මිනිසා ගැන මම යළි සිහියට නැගුවෙමි.
" ඒයි ගුරා...හූ..පිස්සු ඉස්කෝලයා..දුවපං..දුවපං..මේ ළමයි දිහා කන්ඩ වාගෙ බලන් ඉන්නැතිව "
හැමදාම ඉස්කෝලෙ ඇරෙන වැහෙන වෙලාවට මෙය සුලභ දර්ශනයකි. නිතරම ඉස්කෝලෙ ගැන මුමුණන නිසා පිස්සු ඉස්කෝලයා කියනව. ඒත් පටබැඳි නම ගුරා...ළමයි දිහා හරි ආශාවෙන් බලං ඉන්නවා. ළමයි ඒ සීයා ඉන්න පැත්තෙන්වත් යන්නෙ නෑ. ගෑනු ළමයි අනික් පැත්තෙන් යන්නෙත් දුන්නක් වාගෙ පැත්තට නැමිලා, දුවගෙන. ඒ තරම් මේ මනුස්සයා නගරයම පිළිකුල් කරනවා. මිටි සිරැරක් තියන පැසුණු කොණ්ඩය බෙල්ල තෙක් වැඩුණු දිග රැවුලක් ඇති ඔහුගේ මුහුණ රැළි වැටී ඇත. ඉස්සරහ දත් කලුම කලු පාටයි. සීයා ඔවුන්ට ගහන්න වාගෙ හැදුවත් ඒක කවදාවත් වෙන්නෙ නෑ. බනිනවා. නමුත් සද්දෙ පිටවෙන්නෙ නෑ. පිටිපස්සෙන් හොරෙන්ම ඇවිත් පරණ ඉරිච්ච පන් මල්ල උදුරලා කුණුගොඩට විසිකරල දුවනවා. දවසක් මේ සීයා ළමයි දිහා බලන් ඉන්නකොට විමලසේන මාමා පස්සෙන් ඇවිත් පයින් ගැහුවා.පව්. සීයා ආයෙ ගහන්න එපා කියලා වාගෙ අත දික් කරා.
" තෝ ආයෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ආවොත් බලාගනින් " ඇඟිල්ල උලුප්පලා විමලසේන මාමා කියනවා.
මහා විද්‍යාලෙට හැරෙන තැන වම්පැත්තෙ වැවේ කුණුරොඩු ජරාව ගොඩගහලා. බොහෝමයක් වැදගත් උදවිය හොරෙන් කුණු දාන්නෙ එතෙන්ට. මඩ වෙලා, පල් වෙලා. මෙලෝ සතෙකුට එතන වසන්න බෑ. ඒත් මේ සීයාගේ ගෙදර මේ කුණුගොඩ අසළ තිබුණු අත් ඇරිච්ච බස් නැවතුමට හේත්තු කරලා අඩි හතරක් විතර උසට පරණ තහඩු වලින් හදාගත්තු පොඩි ගෙයක්.ගෙයක් කිව්වට ඒක නිකම්ම නිකං කූඩාරමක් වගෙයි.
මහ විද්‍යාලෙ අරින්න සීනුව ගහනකොට කලු කරගෙන තිබුණු අඳුරැ වලාව එක පාරටම කඩාපාත් වුණා. ළමයි දඹගොල්ල පාර දිගේ වේගයෙන් දුවල ඇවිත් කඩපිල් වලට රිංගගත්තා.
" මුරැගෂං වරැෂාව " කැෂියර් එකේ මුදලාලි කියනවා ඇහුණා. පාර පේනතෙක් මානෙ මීදුම වාගෙ වැහි බිඳු පාරෙ වැදිලා උඩට විසිවෙනවා. ඉස්සරහ ඉස්පිරිතාලෙ පේන නොපෙනෙන ගානෙ වාහනවල රෝද පේන්නෙ නෑ. කාණු පිරිලා ඉතිරිලා, පාන් කෑලි , රොඩුබොඩු ගහගෙන යනවා හුළඟත් එක්ක. වැහි පින්න කඩ පිලට ගහනකොට ළමයි කෑ ගහගෙන ඇකිලෙනවා. හැමෝම තෙත බරියං වෙලා. එකපාරටම කලාවැව හංදියෙන් ගෝසාවක් ඇහුණා. මම මඳක් නැමී ඒ දෙස බැලීමි. වැහි මීදුම අතරින් කලු පාට තිතක් වාගෙ කෙනෙක් වැස්සෙ තෙමි තෙමී උඩහට එනවා. එයා කඩ අයිනට එනවා ආයෙ මැදට යනවා. ළඟට කිට්ටු වෙනකොටයි මම දැක්කෙ ඒ අර සීයා. එයා වැස්සෙන් බේරෙන්න කඩපිලකට නගින්න හදනකොටම විමලසේන මාමලා එයාව කොස්සකින් මැදට තල්ලු කරනවා.
" අද හොඳට නාපං.. "
අනික් අයට මේක ලොකු විනෝදයක්. අපි ඉන්න තැනට කිට්ටු වෙනකොට තියෙන බුලත්විට කඩේ අයිනට සීයා කොහොමහරි පැනගත්තා. ඒත් තත්පර කීයකටද... විමලසේන මාමා එයා බලෙන්ම අල්ලලා පාරට තල්ලු කලා. ඒත් ගුරා සීයා වැටුනෙ අර ජරා වතුර ගලන කාණුවට. ඔක්කෝම හූ කිය කියා හිනාවෙන්න පටන්ගත්තා. ඒ අසරණයට නැගිටගන්නවත් වාරැ නෑ. මගේ හිතේ අනුකම්පාවයි, කේන්තියයි ලැජ්ජාව පරාජය කළා. මම පොත් ටික කමිසය ඇතුලෙ පිටිපස්සට තියලා ඉස්සරහින් කමිස පොට තදින් ගැටගසා ගත්තෙමි.
වැස්සේම ගුරා සීයා ළඟට ගියෙමි. දෙනෝදාහක් දෙනා මුව අයාගෙන මා දෙස බලා සිටිද්දී මම ගුරා සීයාව නැගිටුවා ඔහුව වත්තන් කරගෙන ඔහුගේ කුඩා නිවස දෙසට ගියෙමි.
" ඒයි පොඩි ගුරා...මූත් පිස්සෙක්. ගුරාගේ පුතෙක්ද කොහෙද?.. " අවට සිටි අය කෑ කොස්සන් දෙද්දී මම නිහඬව අසරණ මහළු සීයා සමඟ ගමන් කෙළෙමි.
" මේ කොත්තමල්ලි ටික බීපං. අනේ උඹගෙ පණ්ඩිතකම. පිස්සන්ට උදව් කරන්න යනවා. ඌ කවුද උඹගේ... ආදෙන්කො අද තාත්තා ගෙදර " අම්මා දොර රෙද්ද මෑත් කර කාමරයට එන ගමන් මට දෙහි කපන්නට විය.
" මේ මෝඩයා හින්දා මටත් ඉස්කෝලෙ යන්න ලැජ්ජයි. ළමයි මාව පල් කරයි පිස්සු ගුරාගේ පුතාගෙ අක්කා කියලා ඊකේයියා... " අක්කා ද අම්මාට දෙවෙනි නැත.මේ සියලු බැනුම් මැද්දේ මට නින්ද යනවා මතක නැත.
පසුදා මම පාසල් නොගියෙමි. කවුරැත් මගෙන් කිසිවක් නොවිමසූ අතර තාත්තාගෙන් දොස් මුරයක් බලාපොරොත්තු වුවද සුරැට්ටුව පත්තු කර උදැල්ල කරේ තියාගෙන තාත්තා මා දිහා බලා පාර දිගේ යන්න ගියේය.
දින කීපයක් ගත වුවද එදායින් පසු ගුරැ සීයා දකින්නට නොලැබීම මට කුකුසක් විය. ඔහුගේ නිවස අසළට ගොස් ඉස්සී බැලුවද දකින්නට නොසිටියේය.
කොහේ හරි ගිහිල්ලවත්ද?
දිනක් මම හිතාමතාම ප්‍රමාද වී පාසල් යනවිට පාර දෙපස කවුරැත් නොසිටියෙන් වටපිට බලා හොරෙකු මෙන් කුණු ලොඩ අතරින් සීයාගේ කූඩාරම අසළට ගියෙමි. ඇතුලට කර පොවා ඔහුට කතා කළද කිසිවෙක් කතා කළේ නැත. මඳක් හයියෙන් කථා කළ විට කෙඳිරිලි හඬක් නැගූූූූූූූූූූවෙන් හිස පහත් කර කූඩාරමට රිංගුවෙමි.
කිලිටි රෙදි කැබලි ගොඩක් තුරැලු කරගෙන සීයා කෙඳිරිගාමින් මා දෙස පුදුමයෙන් මෙන් හැරී බැලුවේය. මම ඔහු වත්තන් කර නැගිටුවා හිඳ ,
" ඇයි සීයේ පුදුමයෙන්.. "
" පුදුම නොවී පුලුවන්ද, පුංචි මහත්තයා මගේ ජීවිතේටම මේ ගෙදරට කෙනෙක් ආවමයි. "
සීයගෙ ගම කොහෙද? නෑදෑයෝ, දරැවො එහෙම, ඉන්ඩ ගෙයක් දොරක් නැද්ද? මම ප්‍රශ්න වැලක් නැගුයෙමි. සීයා කකුල් දෙක වකුටු කර දණහිස නිකට දක්වා නවා අත් දෙකත් බැඳගෙන දිග කල්පනාවක යෙදුණේය.
" කියන්නකො සීයෙ.. "
"මම පහළ පැත්තෙ කෙනෙක්" සීයා වෙවුලන ස්වරයෙන් හඬ අවදි කළේය.
" මටත් ලොකු ඉඩමක් තිබුණා. ඒ කාලෙ ගොඩක් අය හිටයා. මට කියන්නෙ සාර්දියෙස් කියලා... ඇති මහත්තයා " තම වෙවුලන ස්වරය මැද්දෙන් ඉකබිඳුම් ස්වරයක් මට ඇසුණි.කුමක් හෝ කිව නොහැකි රහසක් ඔහු සතුව ඇති බව මට තේරැම් ගියෙමි.
" මහත්තයා දැන් යන්න. ආයෙ කවදාවත් මෙතෙන්ට එන්ඩ එපා "
මාාා අතේ තිබූ රැපියල් විසිපහ ද, කෑම පාර්සලය ද, එහි තැබුවෙමි.
" මම යන්නම් සීයා... "
ඔහු කඳුළු පිරි දෑසින් මා වෙත බලා අත්දෙක එකතු කළා පමණි.
අලුත් දවසක්. ඉස්කෝලෙට හැරෙන තැන ලොකු තොරණක්. " සාදරයෙන් පිළිගනිමු "
දෙමාපියන්, දරැවන්, පාර දිගේ කඩිමුඩියේ පාසල දෙසට ඇදෙනවා. ළමයි අතේ අද පොතුත් නෑ. වෙනදට වඩා හරිම සන්තෝසෙන් ඔවුන් පාසල් යනවා. ළමයි වගේම ලොකු සර්, මැඩම්ලා,සර්ලා මේ හැමෝම හරිම සිරියාවන්තයි. කඩියො වාගෙ වැඩ. ඉස්කෝලෙ තැන් තැන්වල වෙළඳසැල්, ප්‍රදර්ශන භාණ්ඩ පිරිලා.
" දැන් වෙලාව කිට්ටුවෙලා. කට්ටිය තොරණ ළඟට යන්න. " ලොකු සර් කියනවා.
මහ විද්‍යාලෙට අද හරිම විශේෂ දිනයක්. අවුරැදු පනහක් පිරෙන ස්වර්ණ ජයන්ති උත්සවේ. ඉස්කෝලෙ මුලින්ම ඉගෙනගත්තු ගොඩක් ඉහළ තනතුරක් දරන ආදි ශිෂ්‍යයෙක්ලු එන්නේ. මමත් තොරණ දෙසට දිව්වෙමි. එතන එකම මිනිස් පොදියකි. තොරණ බේරාගැනීමට විමලසේන මාමා ඇතුළු කීපදෙනෙක් යුද්ධයක යෙදී සිටියි. බස්නැවතුම්පලක් නැත. ඒක උඩත් මිනිසුන් පොර කති.
චට... පට... ඩෝං....
ආරාධිත අමුත්තා ඇවිල්ලා වගේ. නැටුම් කණ්ඩායම් , හේවිසි කණ්ඩායම්, හොරණෑ කණ්ඩායම වැඩ පටන් අරං.
දඩ දඩාං...මොකක්දෝ කඩා වැටෙන සද්දයක්...
ප්‍රදර්ශනය අති උත්කර්ෂවත්ව පැවතිණි. ආරාධිත අමුත්තා ඇතුළු සෙස්සන් ප්‍රදර්ශනය නරඹා උත්සව ශාලාවට ඇතුළු විය. වේදිකාවේ තිරය අරින වහන වැඩේ බාරව සිටි මම තිරයේ හිඩැස අතරින් සියලු ප්‍රේක්ෂකයින් දෙස මඳක් බලා සිටියෙමි. අයිනක සිටි විජිතපාලත් මට එකතු වුවද ඔහු මාගේ පිටුපසින් සිට මා හට අණදෙන්නට විය.
පිළිගැනීමේ කතාව සිදුකළ ලොකු සර් අප පාසලේ ප්‍රගතිය, දියුණුව, දරැවන්ගේ දක්ෂතා ආදිය පිළිබඳ ගාම්භීරව කතා කරන්නට විය. සියලුදෙනා විමසිල්ලෙන් බලා සිටි ආරාධිත අමුත්තාගේ කතාව ආරම්භ වීමත් සමඟ ප්‍රෙක්ෂකාගාරය මීයට පිම්බාක් වැනිය. මහා තේජවන්ත පෙනුමකින් ආරාධිත මහතා වේදිකාවට පැමිණ සිය කතාව ආරම්භ කරන්නට විය. අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වු එතුමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයකු වීම අපටද ආඩම්බරයක් විය.
" මම මේ පාසලේ මුල්ම ශිෂ්‍යයෙක්.එතකොට මෙතන තිබුණේ පොල් අතු මඩුවක්. බිම ඉඳගෙනයි අපි අකුරැ ලීවේ, සාහිත්‍ය රස පාඩම්, ධර්මය, කවි ගායනය ගැන ඉගෙනගත්තේ. ඒ කාලෙ මේ නගරය පේන තෙක් මානයක පාසලක් තිබුණෙ නෑ..පහල පැත්තෙන් ආපු කෙනෙක් තමයි මෙතන එයාගෙම ඉඩමක පොල් අතු මඩුවක් හදලා බලෙන්ම අපිව එක්කන් ඇවිත් අකුරැ ඉගැන්වීම ආරම්භ කළේ. මම අද මේ තත්වෙ ඉන්නෙ ඒ උත්තමයා නිසයි. ඒ මගේ ගුරැතුමා නෙවෙයි ගුරැ දෙවියෝ... මේ ඉස්කෝලෙ තියෙන්නෙත් එතුමා නිසයි. මම මුලින්ම ඒ ගුරැ දේවයාණන් සිහිපත් කරනවා. සමහරවිට මේ වැඩිහිටි උදවිය දන්නවත් ඇති සාර්දියෙස ගුරැතුමා...
මගේ ඇඟ විදුලි සැරයකින් පිපිරැණාක් මෙන් මට දැනුණි. ශාලාවේ ඝෝෂාවත් එන්න එන්නම වැඩි විය.
" එතුමා ජීවතුන් අතර ඉන්නවාද "
" ඉන්නවා " මට ඉබේටම කියැවිණි. සියලු දෙනාම මා දෙස හැරී බැලුුහ.
" එහෙනම් එක්කන් එන්න "
එතුමා කියූ සැනින් මමත් විජිතපාලත් වේදිකාවෙන් පැන පිම්මේ හංදිය දෙසට දිව ගියෙමු. විමලසේන මාමා ඇතුළු කීප දෙනෙකු ඒ වන විටත් එතනට ගොස් සිටියහ. මගේ සිත බියටත් කම්පනයටත් පත් වී තිබුණි. කුමකින් කුමක් සිදු වී තිබේද? අලි රංචුවක් නැටූ පිටියක් වාගේ සියාගේ නිවස අසළ මඩ වී තිබුණි. සීයාගේ නිවස ද, කඩා වැටී මඩට යට වී තිබුණි.මා හට දරාගත නොහැකි ශෝකයක් දැනුණි.
" මෙතැනයි ගේ තිබුණේ. " මම විමලසේන මාමාගේ මුහුණ බලා මිමිණුවෙමි. කිහිපදෙනෙක් කොන්ක්‍රීට් ලෑලි ද එසවීමට උත්සහ කරන විට මඩට යටවුණු තැලුණු හිසින් ගලා ආ ලේ පාර සෙමින් සෙමින් ගලා විත් මඩ වතුරට එකතු විය. මට මතක මාගේ දෑස් නිලංකාර වනවා පමණි.
" හරි... ඔය උදලු තියලා මූණ කට සෝදාගෙන යමු පිරිත් අහන්න. එළිවෙනකම් ඉන්න එපැයි. විජිතපාලගේ කටහඬින් මම අවදි වීමි.
( නම් ගම් මනඃකල්පිතය )
Supiri
ReplyDelete