කෙටි කතාව:- හර, බැර හා ශේෂය

 
 ඇය වෛශ්‍යාවක යැයි සිතන්නට මම කැමැත්තෙමි. එහෙත් ඇය වෛශ්‍යා වෘත්තියේ යෙදුණ බවට කිසිදු සාක්ෂියක් සොයා සපයා ගන්නට මට මෙතෙක් හැකි වී නැත.

" වේස ගෑනියෙක් නෙවෙයි නං දීගතල ගිය දරැවො ඉන්න වයසක මිනිහෙකුගෙ කරේ එල්ලේවියැ?"

මගේ මතය සනාථ කරගැනීමට දිනුම් පදය ලෙස අනේක වාරයක් එය කියා ඇත්තේය.

කඳු වළල්ලකින් වටවූ මේ කුඩා නිවහනට අරක්ගෙන ඇති අඳුරැ පාළු බව මේ තරම් දැනෙන්නේ බොහෝ කලකට පසුව පැමිණි නිසාද? සාලිය නම් කියන්නේ මේ දර්ශනය නැරඹීමෙන් සංවේදී මිනිසෙකු තුළ කාව්‍යමය සංකල්පනා පහළ වන බවය. ඔහු ඉතා ආකර්ශනීයව කවි ලියයි. සුදු කඩදාසි මත ලියැවුණ ඔහුගේ කවි අහස උසට ගොඩ ගැසුවත් ඉන් ලැබුණු ප්‍රතිලාභයක් නැත. ඔහු විසින්ම රචිත කවි, කීප වරක්ම කර්තෘ ප්‍රකාශන ලෙස එළි දක්වා ඇති නමුත් ඒ සඳහා වැය වූ මුදලවත් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කණගාටුවක් අදටත් ඉතිරිව ඇත්තේ මා තුළ පමණි. 

"මහත්තයා එනකොට කීය වෙයිද?"

"සේර් මේ වෙලාවට ඉන්නෙ පැක්ටේරියෙනේ මැඩම්,එක හමාරට වගේ තමා සේර් බංගලාවට එනවා"

අන්තෝනිගේ නුහුරැ සිංහල උච්චාරණය පවා මේ මොහොතේ මගේ හිතට නංවන්නේ කෝපයකි. කළු කබායකින් වැසුණු ඔහුගේ කෙසඟ සිරැර තද කළු පැහැයෙන් වර්ණ ගන්වන ලද්දේ ඉර එළිය විසින්ද?

"අන්තෝනිට පුළුවන් නං ෆැක්ටරියට ගිහිං මහත්තයට එන්න කියන්න. අපි ආවෙ ලොකු උවමානවකට. මේ මහත්තයත් තකහනියක් නිවාඩු දාගෙනයි ඇවිත් ඉන්නෙ."

අන්තෝනිගේ බැගෑපත් බැල්ම කියාපාන්නේ ෆැක්ටරියට ගොස් නිළධාරී මහතාට අණඥාවක් නිකුත් කිරිමට තරම් තමා ශක්තිමත් නොවන බවය. සාලිය ද මා දෙස රවා බලන්නේ මගේ අණ අසාධාරණ බව පැවසීමට මෙනි.

"ඔයාට විකාරද? අන්තෝනි මෙතන වැඩ කරන කුලී කාරයෙක්. ෆැක්⁣ටරියට ගිහිං තාත්තට එන්න කියන්න  පුළුවන්ද ඒ මනුස්සයට?"

"එහෙනං අපි යමු ෆැක්ටරියට" මා කීවේ නොඉවසිල්ලෙනි.

"එහෙම නොගියොත් දෙකිං එකක් බේරගෙන අපිට අදම කොළඹ යන්න වෙන එකක් නෑ. මොකද කියන්නේ, ඔයා නිවාඩු දාන්න ලෑස්තිද හෙටත්. ඊට වඩා සුභාෂ්වයි මහේෂ්වයි ඉස්කෝලෙ නෑර පුළුවන්ද?"

සාලිය නිහඬ ය. පරාජයට ආසන්න මොහොතකදී පැරදුම භාරනොගෙන මුණිවත රැකීමේ කපටි පිළිවෙත සමස්ත පිරිමි වර්ගයාටම පොදු වූවක් බව සාලිය දෙස බැලීමෙන් මට සිහියට නැඟිනි.

විවිධ පාටින් නොයෙක් හැඩයෙන් යුත් මල් වලින් ගහණ වූ සුන්දර මිටියාවත පහළ පිහිටි දිය අඟලේ එහෙට මෙහෙට පිහිනන මාළු පැටවුන් මා දුටුවේ  දිය අඟල සතු වූ පිරිසිදු නොසෙල්වුණු ජලය නිසා ය. එකවරම කඳු මුදුන තෙක් ඈතින් මතු වූ කිසිවකුගේ  රෑපකාය    දෙස මොහොතක් අප දෙදෙනාම බලා සිටියේ කුතුහලයකිනි.. තිතක් මෙන් මතුව ආ ඒ රැව කෙමෙන් තාත්තාගේ හැඩරැව ගන්නා බව දුටු නිසා අප එකදු අඩියක්වත් ඉදිරියට නොතැබුවේ තාත්තා පිළිබඳ මතකයට පණ පොවමින් ය.

"ඔයාම තාත්තගෙන් අහලා දැනගන්න. ඔන්න මට ඒම බෑ"

මම කෝපයෙන් සාලිය දෙසට හරැනෙමි.
"ඇයි ?"

"කතා කරන්න පුළුවං මාතෘකාද ඕවා"

"එහෙනං අපි මොකටද මේ ගමන ආවෙ"

"මේ ගමන එන්න ඕන වුනේ ඔයාටනෙ. මං ආවෙ තනියට"

"මේක මහා නින්දාවක්. ඉතිං ඇයි ඔයාට ඒ ගැන කතා කරන්න බැරි. ඔයා තාත්තගෙ බෑණා"

"ඔයා තාත්තගෙ දුව"

ඒත් ඔයයි මේ සමාජෙත් එක්ක වැඩිපුර ගැටෙන්නෙ. ඔයා කන්තෝරැවක රස්සාවක් කරන කෙනෙක්. ඉතිං බෑණා හැටියට ඔයාට පාරෙ බැහැලා යන්න බැරිවෙන එක ගැන කතා කරන්න අයිතියක් නැද්ද ඔයාට?"

"ඒක ලැජ්ජාවට කාරණයක් කියලා හිතන්නෙ ඔයානෙ. ඉතිං ඔයාටයි ඒ ගැන කියන්න පුළුවං"

මම නොඉවසුම් සහගතව අවට බැලුවෙමි. ඈතින් දුටු තාත්තාගේ රැව නිසා නැවතත් අප දෙදෙනා නිවෙස දෙසට පා නැගුවේ උණුසුම් සංවාදය අතරතුරේ ය. ගත වූයේ සුළු මෙහොතකි. කොට කලිසමක් හැඳ තොප්පියක් පැළඳ ගෙට ගොඩ වූ තාත්තාගේ අතේ රැඳි බස්තම මනාව ඔපමට්ටම් කර තිබේ. මුහුණට රකුසු වෙසක් මවාගන්නට මම උත්සහා කළෙමි. එහෙත් තාත්තාගේ මුහුණේ ඇඳි යන්නේ අහිංසක සිනහවකි. බුම්මාගත් මුහුණින් සිටින මා දෙසත් මඳ සිනාවක් දෙතොලට නංවාගත් සාලිය දෙසත් මාරැවෙන් මාරැවට බැලූ තාත්තාගේ මුහුණට ප්‍රශ්නාර්ථයක් එක්ව ඇත.

"දුව මොකෝ මේ හිටගෙන"

" හිටගත්තෙ යන්න" මම නොමනාපයෙන් කීවෙමි.

" දැනටත් හොඳටම පරක්කුයි. නෑවිදින් බැරිම නිසයි තකහනියක් මේ ආවෙ"

" ඇයි දුව මොකක්ද හදිස්සිය. හදිස්සියෙම නොකියම එන්න තරං?"

"නොකියම ආවෙ නොකියම බැරි දෙයක් කියලා යන්න" 
හිත තුළ කැකෑරෙන පිය ගෞරවය පරයා දැවෙන කෝපය එක මිටට ගනිමින් මම කිවෙමි.

"ඇත්තටම මොකක්ද මේ මිනිස්සු කියන කතාව"

අසුරැ සැණින් තාත්තාගේ මුහුණේ නැගුනු ප්‍රශ්නාර්ථය නිවට නියාලු බයාදු ස්වරෑපයකට හැරැණි. විළියෙන් හැකිළෙන ඔහුගේ දෑස් දැකීමෙන් මගේ සිතට ඇති වන්නේ කුරිරැ සතුටකි. ක්ෂණයකින් මගේ ඉගිය තාත්තාට දැනුනේ ඒ ඕපදූපය සත්‍යයක්ම වූ නිසාය.

" අර වල් ගෑනි විමලාවතී ගැන මිනිස්සු කියන කතා ඇත්තද? තාත්තට ලැජ්ජා නැද්ද ආ. ඊටත් තාත්තා දැං සීයා කෙනෙක්. තාත්තගෙ දරැවො, මුණුබුරෝ රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්න ඕනෙ නේද?"

එකවරම සෝපාව මතට තාත්තා ඇද වැටුනේද? එහි හිඳගත්තේ දැයි මා හරිහැටි නොදුටුවෙමි. කෝපය නිසාම මතුව ආ කඳුළින් මගේ ඇස් බොඳව යද්දි සාලිය මා වත්තම් කර අසළ පුටුවෙන් වාඩි කළේය. දෙනෙත් පිසදා බලද්දී මා දුටුවේ තාත්තා නිහඩව සිමෙන්ති පොළොව දෙස බලා සිටින අයුරැ ය. අනතුරැව ඒ බැල්ම මඳක් ඉහළට විහිද යද්දී ඔහුගේ බොඳ වූ ඇස් මා දුටුවේ අහම්බයෙන් මෙනි.

"මොනව වුණත් මගෙ දුවේ..විමලාවතී වල් ගෑනියෙක් නං නෙවෙයි" 
වෙවුලා ගිය තාත්තාගේ දෙතොලින් පිටවූයේ දුබල හඩකි.

"ඔව් එහෙම තමයි පේන්නෙ. රාගයට ඇස් නැහැයි කියන්නේ ඒකනෙ. ඒකි ඉනාවක් කවලා. හැබැයි තාත්තා ආයි අපි නොකිව්වයි කියන්න එපා. ඔය ගෑනිව කසාද බැන්දොත් අපි ඔන්න ආයි තාත්තගෙ මරණෙටවත් නෑ."

මේ ශෝකාන්ත නාටකය දැන් අවසන් ය. එහි නපුරැ දියණියගේ භූමිකාව රඟ දක්වන ලද්දේ මා විසිනි. ඒ හරියටම මීට සත් දිනකට පෙරය. දැන් මම එදා මෙන්ම මේ වතු නිවසේ වීදුරැ ජනේලයෙන් ඈත බලා සිටිමි. මගේ මේ ආගමනය මෙදා සිදුවූයේ එදා මෙන් තාත්තාට බැණ වැදීමට හෝ නින්දා පරිභව කිරීමට නොවේ.

යතුරැ කැරැල්ලක් අතැතිව සිටින අන්තෝනි ගල් පඩිපෙළ නැගගෙන එන්නේ නිල නිවාසයේ කාමර වසා දැමීමට විය යුතුය.

"සේර් එදා කෑමට ආවයින් පස්සෙ ආපහු ගියෙ නෑ. මාන්සි කියල කාමරේ බුදියගෙන උන්නා. කෙඳිරි ගානව ඇහුණා. උදේ දොරට තට්ටු කළාට දොර ඇරියෙ නෑ. ලොකු සේර් ඇවිත් දොර කැඩුවෙ එතකොට.. මුරැගා.. සේර් හිටියෙ බුදියගෙන වගේ.."

අන්තෝනිගේ මේ ශෝකාලාපය මා අසා සිටින්නේ තුන්වන හෝ හතරවන වරට ය. මම ඒ හැඟීම් විරහිත මුහුණ දෙස බලා සිටිමි.

" ඉතිං උඹට ටිකක් හොයල බලන්න තිබුන්නැද්ද?" යි මම නොඅසමි. මගේ සිත වේදනාවෙන් මැඬෙයි,තැලෙයි, මිරිකෙයි, ඇඹරෙයි. ගෙතුළින් මතුවන සාලියගේ මුහුණ බැලීමට තරම් හෝ දිරියක් සවියක් මට නැත.

" වෙන මොනවත් නෑ.. ඔක්කොම තියෙන්නෙ ලට්ට ලොට්ට. තාත්තගෙ මේසෙ ලාච්චුවේ මෙන්න මේකනං තිබ්බා."

මම සාලිය දුන් කුඩා ප්ලාස්ටික් ඇසුරැම ගතිමි. හැඳුනුම්පතද සමඟ රබර් පටියක දැවටී තිබුණේ තාත්තාගේ බැංකු පොතය. උකුසු දෑසින් එහෙමෙහෙ ගිය බැංකු පොතේ ඉලක්කම් සටහන් මත දෑස නතර වුණි.
" හර...? බැර...? ශේෂය...?"

බොඳව ගිය මගේ නෙත් නිලංකාර වූයේ එහි අන්තිම පිටුවේ අන්තිම පේළියේ සඳහන් අවසන් සටහන දැකීමෙනි.

දිනය- 2010.08.30..
ශේෂය රැ 700/=

ශෝකය පශ්චත්තාපය මැදින් යටපත් ව තිබූ කෝපය නැවතත් මා තුළ හිස ඔසවන්නට විය.

" හුදකලාව ජීවත් වූ තාත්තා..?"
වතු රස්සාවෙන් මසකට රැපියල් විසි පන්දහසක පඩිපතක් ගත් තාත්තා..?"

"විමලාවතී....පට්ට පඳුරී..." 

බ්‍රවුන් පේපරයක් තුළ දැමූ තවත් කුමක්දෝ මගේ ඇස ගැටුණි.

" ළමා ඉතුරැම් ගිණුම් පොත් ? "

" සුභාෂ් මධුශංක "
මහේෂ් අකලංක"

එකවරම මගේ දෙනෙත් නිලංකාර වනවාක් දැනුණි. ඒ තුළින් නැගෙන බිය මුසු වේදනාව අවතාරයකට ටෝච් එළියක් එල්ල කරන්නාකි මෙන්ය.
ළමා ඉතුරැම් ගිණුමට මාසිකව එක්වී ඇති මුදල රැ 10,000 කි.
එකතුව රැ 20,000කි.
ශේෂය.......?

"මගෙ බුදු තාත්තේ........"
 දෑසින් කඳුළු වැල් එකපිට රෑරා වැටුනේ වේදනාව දරාගත නොහැකි කලය.

" දැං ඉතිං අඩල දොඩලා වැඩක් නෑ. කෝකටත් තව ටිකක් තාත්තගෙ කාමරේ බලන්නකො. මට නොපේන දේවලුත් පේන්නෙ ඔයාටනේ"

ආනන්තරීය පාප කර්මයකට මැදි වූවකු මෙන් මා සාලිය පිටුපසිිිින් ගමන් කළෙමි.

"වි..විමලාවතී..."
 නොසිතූ මොහොතක තාත්තාගේ කාමරයේ මා මේ දකින්නේ සිහිනයක්දැයි අදහාගත නොහැක. සුදෝ සුදු ඇඳුමින් සැරසී සුදු මදුරැ දැලෙහි එල්ලී මා වෙත ඔච්චම් පාන්නේ විමලාවතී ය. ඇය වෛශ්‍යාවක් නොවන බව දැන් මම දනිමි. අකාලයේ සැමියා මිය යාම නිසා කනවැන්දුම් විමලාවතී වතු සේවකයන්ට දවල් බත සැපයූවා පමණි. මා තුළ වූ වේදනාව සිය දහස් ගුණයකින් වැඩි විය.

"අනේ සාලිය අපෙ තාත්තා...."
*********************************************
නිවස දෙපස පාත්තිවල පිපුණු ඩේලියා මල්, බාබන්ඩේසියා මල් පරවී ගොස් ය. පින්නෙන් තෙත් වූ වින්ඩ්ස්ක්‍රිනය පිස දමන සාලියට පිටු පා මා බලා සිටින්නේ වසා දැමූ වතු නිවාසය දෙස ය. එහි සිටි ජීවමාන චරිතය දැන් නැත. මා වෙත දැනෙන වරදකාරී හැඟීම තව දුරටත් මා ජීවත් කරාවිද?
යාය මැදින් වැටුණු පටු පාර ඔස්සේ අපි පල්ලම් බසිමින් කොළඹ බලා පිටත් වූයේ කඳුලු පටලයකින් වැසුණු මගේ දෑසට ඔහේ ගලන්නට ඉඩ හරිමිනි.

" තාත්තේ මට සමාවෙන්න. විමලාවතී වේස ගෑනියක් නෙවෙයි......"

                                                                        

                                                                              _හෂි_


Comments